සදකඩ පහණක කැටයම් ඔපලා” ගීත රසවින්දනය!



                                                                     හැත්තෑව දශකයේ මුල් බාගයේ සිට මේරට රසික සවන් පත්  සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ  'මාතර ආච්චි' චිත්‍රපටයෙන්  මෙරට සුවහසක්  රසිකයන්ට පිදුණු මහඟු තිළිණකි. සැබැවින්ම  මෙම ගීතය සිව් කුළුදුල් ගීතයක් ලෙස නම් කල හැක්කේ, වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිබා පූර්ණ ගයක සුනිල් එදිරිසිංහයන්ගේ ගයන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරින් සිදුවීම නිසාය.

                                                                      විවිධ උගතුන් විසින් මෙයට දී ඇති අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය.කිසියම් නිර්මාණයක  රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කල හැකි වුවද, එකී අරුත් දැක්වීම් කෙරෙහි සෑහීමකට පත් විය නොහැක.විවිද පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දරූ උත්සාහයන්ද වරින් වර දැකගත හැකි විය. නමුත් මෙම ගීය චිත්‍රපටයෙහි අන්තර්ගතය හා මනා ලෙස ආබද්ද වූ ‘අරුත් පුන්’ ගේය පද රචනයක් බව කිව යුතුය.

                                                                       මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි.තරුණයා වැඩිදුර අද්‍යාපනය සදහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ලවෙයි.තරුනියටද අකමැත්තෙන් වුව ද එයට එකග වන්නට සිදුවෙයි. කලකට පසු ලකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි.

සඳකඩපහණක කැටයම් ඔපලා

පාවෙන දේදුනු ලැගුම් ගනී

කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ,

                                                                        සදකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවන දේදුන්නක් තරමට වෙනස් වන සිතුවිල්ලක් පමනකි.එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇති වූ කැලතීමෙන් හටගත් ආදරය නමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත.එහි පැවැත්මක් නැත.

යුගයන් යුගයට නොමියන දහමක

දිවියක පදනම මතුවෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී,

                                                                           ප්‍රේමයෙන් බැදුණු කාලපරිච්චේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහට එලැබීම යනු තවත් යුගයකි.එසේ දෙදෙනා එක්වීමේ කාලය එලැබෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.
                                                                             එය, සංසාරගත බැදීමක් තරමට තහවුරු වී පැවතියා යැයි සිතු ආදරය, පිපෙන්නට පෙර කැකුළු අවදියේම මැළවී යාමක් බඳුය.ඒ පිලිබද තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.


දහසක් පෙති මත රහසක් කොදුරා

තුඩින් තුඩට ගෙන යන බිංදු

ගව්වක් ඉහලක ගොනුකොට රදවා
පොපියන දෙතොළක් එහි කැන්දු

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු

ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දු


                                                                         මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කරගන්නා මල් පැණි තුඩින් තුඩ එක්කරමින් වදය වෙත ගෙන යයි.එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරන්නේ ගව්වක් වැනි ස්තානයකය.ප්‍රේමවන්තයාද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිස එයට අදාළ වන සම්පත් එක්රැස් කරයි.ඒවාට ලොබ බඳියි.

                                                                         කළුවක් වපුරා අහසක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි.වහින වැස්ස මී පැණි වල තත්වය බාල කරයි.එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි.පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය.ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.


හදවිල ඉපැදුණු කැකුළක් නොකලට

නටුවෙන් ගලවා දුරක යවා

මිහිලිය කෙත්කොට ගිලිහුණු කදුළක්
සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු
පොපියන හදවත සිටියි බලා


                                                                            ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත.මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි.ඒ වෙනුවෙන් ගිලිහුණ කඳුළ සමුදුර කරා ඇදී යයි.ඒ කදුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හදුනා ගන්නට කෙනෙකු නැති සේම, පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත.පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක බඳුය.එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කෝට ඇත.ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යැයි ඇගේ යහපතම පතන ඔහු සිතයි.ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියබා එනතුරු බලා සිටයි.

                                                                                   මේ අනුව ‘සඳකඩපහණක’ ගීතය අරුත් සුන් ගීයක් නොව ‘අරුත් පුන්’ ගීයක් මෙන්ම එය දුලබ ගේය පද රචනයක් ද වන බව ඔබටද හැඟෙනු ඇත.එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.

                         ගීතය මෙතැනින්  බාගන්න.......

                           comment එකක් දාල share කරන්න අමතක කරන්න එපා යාලුවනේ,,,,,

                         
                      From :- සයිබාව